බයෝකාබන් කියන්නේ පසේ පෝෂණය රඳවන පොහොරක්

جدول المحتويات

බයෝසිස්ටම්ස් ටෙක්නොලොජීස් ලිමිටඩ් යනු, දඹුල්ල පැල්වෙහෙරේ පිහිටි අක්කර දහයක් පුරා විහිදුණු, CIC කෘෂි ව්‍යාපාර සමූහයේ අනුබද්ධ, දේශීය කාබනික පොහොර නිෂ්පාදන ආයතනයකි.

2016 වසරේ ආරම්භ කරන ලද මෙම දේශීය කාබනික පොහොර නිෂ්පාදන ආයතනයෙන් අද වන විට බයෝකාබන් කාබනික කැට පොහොර, බයෝකාබන් හයිබ්‍රිඩ් කැට පොහොර සහ මුහුදු පැළෑටිවලින් නිෂ්පාදනය කරන ඉකෝ ෆර්ට් වැනි සාර්ථක කාබනික පොහොර වර්ග ගණනාවක්, දේශීය කෘෂිකර්මාන්තයට හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳ, බයෝසිස්ටම්ස් ටෙක්නොලොජීස් ලිමිටඩ් ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ නිර්මාන් සෙනෙවිරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ කරන ලද කෘෂිකාර්මික පර්යේෂණයකින් තමයි මේ නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික දැනුම සොයා ගත්තේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගත් කෙනෙක්. මේ කරපු පර්යේෂණවල අවසාන භාගය දක්වා මමත් හිටියා. එතැනින් එහාට ගොවිතැනට පාවිච්චි කරන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් බවට මේ සොයා ගැනීම පත් කළේ මම. අපගේ සියලුම පොහොර නිෂ්පාදන අප හඳුන්වා දී තිබෙන්නේ බයෝකාබන් පදනම් කර ගනිමින්.

මූලිකව අප මේ පර්යේෂණවල දී සොයා බැලුවේ මෙතෙක් කලක් මේ රටේ කරගෙන ගිය දේශීය කෘෂිකර්මාන්තයට සහ පසට මොකද වුණේ කියන එක. එතැනදි අපේ සොයා ගැනීම්වලින් සහ බතලේගොඩ වී පර්යේෂණ ආයතනයෙන් කර තිබූ research papers වලින් දැකපු දේ තමයි, ලංකාවේ කෘෂිකාර්මික වගාබිම්වල 80%ක් පස වෙනස් වී ඇති බව.

එයට එක් හේතුවක් තමයි, රටක් විදියට වත්, දේශීය කෘෂිකර්මාන්තය රැක ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් විදියට වත් අප කිසිම දවසක පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කර නොමැති වීම.

අනෙක තමයි ඉස්සර කාලේ කළා වගේ, දැන් අපි කරන්නේ සංවෘත කෘෂිකර්මයක් නොවීම. ඒ කියන්නේ, ලංකාව පුරාම එළවළු හදලා දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානවලින් බෙදා හැරියාට, වගාවේ අග්‍ර ඵලය වන එළවළු පලතුරු ටොන් ගණන් අපතේ යනවා. ඒ අපතේ යන ටොන් ගණන් කාබනික ද්‍රව්‍ය ටික චක්‍රයක් ලෙස යළි පසට එකතු වීමක් නැහැ. කුණු කඳු නිර්මාණය වුණා පමණයි. ඔය හේතුව නිසාත් පසේ කාබනික කොටස් යම් ප්‍රමාණයක් අඩු වී තිබෙනවා.

ඔය පසුබිම නිසා, රසායනික පොහොරවල තිබෙන පෝෂක කොටස් සහ අකුණු ගහන වෙලාවට මහ පොළොවට පතිත වන නයිට්‍රජන් වැනි පෝෂක කොටස් පසේ රඳවා ගන්නට බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. මොකද රසායනික පොහොර කියන්නේ, පෘතුියේ තිබෙන මූල ද්‍රව්‍ය. වැරැද්ද තමයි ඒ අකාබනික මූල ද්‍රව්‍ය අධික ලෙස මහ පොළොවට යෙදීම. එය තමයි අද ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙන්නේ.

අනෙක් පැත්තෙන් පස සහ ගහ අතර සහසම්බන්ධතාව ඇති කරන ක්ෂුද්‍ර ජීවීගහනය වෙනස් වීම. මේ විදියට සමස්ත ගොවිතැනේ ම කොලිටි එක වෙනස් වෙච්ච නිසා තමයි, මේ සියලු විනාශයන් සිද්ධ වුණේ. ඇත්තටම ගොවිතැනේ කොලිටිය රඳා පවතින්නේ මේ මහ පොළොව මත තිබෙන අගල් 6ක පස් තට්ටුව මතයි. සමස්ත කෘෂි කර්මාන්තයම රැඳී පවතින්නේ මේ මතුපිට අඟල් හයේ කිව්වත් වැරැදි නැහැ. ඒ විනාශ වූ අඟල් 6 නැවත යථා තත්ත්වයට ගන්න සහ එය රැකගන්නේ කොහොමද කියන එකයි අපිට වැදගත් වුණේ.

එතැනදි අපි දැකපු දේ තමයි, කුකුළු පොහොර, ගොම පොහොර වැනි කුමන ආකාරයක හෝ කාබනික පොහොරක් පසට දැම්මත් එහි සිටින ක්ෂුද්‍ර ජීවීන් ඔවුන් ගේ වර්ධනයට ඉතා වේගයෙන් එම පොහොර වියෝජනය කර දමනවා. එසේ වියෝජනය කළා ම බෝගයට ඕනෙ කරන අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නැහැ. ක්ෂුද්‍ර ජීවීන් ඔවුන් ගේ ඝනත්වය හදා ගන්නවා. ඊට පස්සේ මැරිලා යනවා. මොකද, කාබනික ද්‍රව්‍ය ටික ඉතා ඉක්මනින් ඔවුන් වියෝජනය කර අවසන් වෙනවා. අඩුම තරමේ වගා කන්නයක් ඉවර වෙන කල්වත් ඒ කාබනික පොහොර ටික පසේ රැඳෙන්නේ නැැ. ඒ නිසා අධික වියදම් කරලා දමන කාබනික පොහොර ටික වගා කන්නයක් ඉවර වෙනකල් වත් රඳවා ගන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙන පසුබිමක, විකල්පයක් ලෙස අති විශාල ප්‍රමාණයක් පොහොර දමන්නට සිද්ධ වෙනවා. හැබැයි එහෙම දැමුවා කියලත් කෙටිකාලීන වගාවන් හැදෙන්නේ නැහැ.

ඔය සියල්ලට විසඳුමක් ලෙසයි වැඩි කාලයක් කාබනික ද්‍රව්‍ය ටික රඳවා ගන්නට හැකියාව තිබෙන, පසේ ක්ෂුද්‍ර ජීවීන්ට ක්ෂුද්‍ර පරිසරයක් පවත්වාගෙන යන්නට හැකි, පාංශු ජලය වැඩි කාලයක් රඳවා ගන්නට හැකි, මුල හරහා ගහට අවශෝෂණය කරගෙන පසේ අයන ගතිය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරන්න පුළුවන් සහ පස යථා තත්ත්වයට පත් කරන්නට පුළුවන් සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස බයෝකාබන් පොහොර අප බිහි කරන්නේ.

ඇත්තටම සෙසු පොහොරවලින් කරන්නේ ඔය කියන ක්‍රියාවලියට අමතර ශක්තියක් ලබා දෙන එක. තවත් විදියකට කිව්වොත් බහුවිධ ක්‍රියාකාරකම් ගණනාවක් එහි තිබෙනවා. පොහොර කියන්නේ, එහි එක් කොටසක් විතරයි. පස සකස් කිරීම තමයි ප්‍රධානම දේ.

තේ, පොල්, බුලත්, එළවළු, වී… වැනි සියලුම බෝග වර්ගවලට අපගේ බයෝකාබන් කාබනික පොහොර ඉතා හොඳින් ගැළපෙන්නේ ඉහත කී හේතු ගණනාව නිසයි. අපේ පොහොර එක් වරක් හෝ යොදපු ගොවි මහත්මයකු තුළ ලොකු විශ්වාසයක්තිබෙනවා, මේ පොහොරවලින් පසේ සහ වගාවේ ලොකු වෙනසක් සිදු වනවා කියන එක ගැන. ඇත්තටම ඔවුන් එය අත්දකිනවා.

අපගේ මේ කර්මාන්තය හරහා ඍජු රැකියා තිහක් පමණ මේ වන විට බිහිවී තිබෙනවා. වක්‍රාකාරව සැපයුම්කරුවන් දෙතුන් සියයක් අප වටා සිටිනවා.

අපගේ බයෝකාබන් පොහොරවල තවත් විශේෂත්වයක් තමයි ඒ සඳහා යොදන අමුද්‍රව්‍ය. අප CIC කෘෂි ව්‍යාපාර සමූහයේ අනුබද්ධ ආයතනයක් නිසා, අක්කර 700ක් පමණ විශාල CIC ගොවිපළෙන් අපට අවශ්‍ය තණකොළ, ගිණිසීරියා වැනි කොළ වර්ග ඕනෑ තරම් සපයා ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන කුකුළු පොහොර මාස හයකට වැඩි කාලයක් අප වෙනම දිරාපත් වන්නට හරිනවා.

ඊට අමතරව ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස, Biochar හෙවත් පොල්කටු අඟුරුත් භාවිත කරනවා. ඒ අඟුරු අපි ගන්නේ පිටින්. එය ටිකක් වියදම් සහගතයි. නමුත් Biochar කියන්නේ, පසේ පෝෂණය වර්ධනය කිරීම සඳහාම සකස් කරන ලද පොල් කටු අඟුරු විශේෂයක්. නිකම් අඟූරු කලවම් කළාට ඒ ගුණාත්මක බව එන්නේ නැහැ.

ඒ වගේම මුහුදු පැළෑටි ආශ්‍රයෙන් අප නිෂ්පාදනය කරන, ශාකයේ වර්ධනය උත්තේජනය කරන සුවිශේෂී නිෂ්පාදනයක් වන ඉකෝ ෆර්ට් ගැනත් කිව යුතුයි. ඉකෝ ෆර්ට් යනු, යාපනය මුහුදේ වවන මුහුදු පැළෑටි ගනැවිත් එහි සාරය රැගෙන, වී වගාවේ මුල් අවධියට යොදන මූලික පොහොරක් සමඟ මිශ්‍ර කිරීමට හැකි කාබනික නිෂ්පාදනයක්. උතුරු මුහුදේ වවන මේ seaweed අප සීසන් දෙකක දී මිල දී ගන්නවා. ඒවා මුහුදු සුළං වැඩි වන විට ගොඩ ගසන යම් ප්‍රමාණයක් තිබෙනවා. එම තත්ත්වයේ දී තමයි සාරවත් ලෙස යොදා ගත හැකි තරමට එම seaweed වර්ධනය වී තිබෙන්නේ. ඒවා අපට වෙන් කර ගෙන දෙන වෙනම සැපයුම්කරුවන් සිටිනවා.

අනික අපගේ බයෝකාබන් හයිබ්‍රිඩ් කැට පොහොර තවත් සුවිශේෂී නිෂ්පාදනයක්. කාබනික කැට පොහොර එකමයි අප එසේ දෙමුහුන් කර තිබෙන්නේ. ඉන් එම පොහොරවල ගුණාත්මකභාවය දෙගුණයක් වී තිබෙනවා. ඒ වගේම, පෙලට් එකක් විදියට නැතිව රවුම් කුඩා කැටයක් විදියට ලංකාවේ හදපු පළමු පොහොර එක තමයි අපගේ මේ ග්‍රැනියුල් පොහොර හෙවත්, බයෝකාබන් කැට පොහොර කියන්නේ.

අපගේ කාබනික පොහොරවල තවත් විශේෂත්වයක් වන්නේ, තිරසාරව වැඩි කලක් පසේ රඳවා ගැනීමට ඇති හැකියාවයි. ඉන් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදු වනවා. ඒ ගුණය වැඩි කලක් පසේ රඳවා ගැනීමට හැකි වන ආකාරයෙන්, කැට කරන ක්‍රමවේදය ඉතා උසස් ලෙස හරියටම කර තිබෙනවා. මේ නිෂ්පාදනය සඳහා ම, රුපියල් මිලියන 250 ක ආයෝජනයක් ලෙස, මීටර් 140ක් දිග ස්පූර්ණයෙන් ම ස්වයංක්‍රීය production line එකක් අප වෙනම ම පවත්වා ගෙන යනවා. එහි දිනකට ටොන් 40 ක ධාරිතාවක් නිෂ්පාදනය කරන්නට පුළුවන්. නමුත් පුළුවන්කම තිබුණත්, ඊට වඩා වැඩි ධාරිතාවකට අප නොයන්නේ කොලිටිය පවත්වා ගෙන යෑම අපගේ ප්‍රමුඛ අවශ්‍යතාව නිසයි.

අප වටහා ගත යුතු වැදගත්ම කාරණය තමයි, අපේ ගොවිබිම්වලින් මේ වන විට ඉවත් වී තිබෙන්නේ කාබන්. ඒ විනාශ වී ගිය කාබන්, පොහොරක් විදියට වත් මෙතෙක් අප පසට දමා නැහැ. අපගේ මේ ග්‍රැනියුල් එකට පුළුවන් පසට වැටිලා, පස සමඟ සම්බන්ධ වී සෑහෙන කලක් පෝෂක කොටස් පසේ රඳවා තබා ගන්නට. මොකද, කාබන් කියන්නේ මහ පොළොවට අත්‍යාවශ්‍ය සාධකයක් නිසා ඒ රඳවා ගැනීම අත්‍යවශ්‍යයයි.

Biochar විදියට සහ කොම්පෝස්ට්වලින් ගන්න අනෙකුත් මුලද්‍රව්‍ය විදියට කාබන් පෝෂක තිරසාර කර තිබෙන නිසා තමයි, අපි බයෝකාබන් කියන නම පාවිච්චි කර තිබෙන්නේ.

2017 මුල ඉඳන් මේ විදියට ගොවීන් අතර, සන්නාමයක් ලෙසින් බයෝකාබන් ප්‍රචලිත වී තිබෙනවා. මෙහි වැදගත්ම දේ තමයි, Process හෙවත් ක්‍රියාත්මක වීමේ ස්වභාවය. මොකද, පස සූදානම් කිරීමේ දී පෙර යෙදවුමක් ලෙස කාබන් සහ එහි ක්‍රියාවලිය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන නිසා.

මහ පොළවට ඉතා වැදගත් මහෙවරක් ඉටු කරන බයෝකාබන් පොහොර දැන් කන්න කිහිපයක් මහ පොළොවට වැටී පස වෙනස් වෙන්න පටන් ගත්තා විතරයි. දැන් එය තරමක් පසුගාමී තත්ත්වයකට ඇද වැටී තිබෙනවා. රජය මෙවර පොහොර සහනාධාරයට ගනීවි කියන බලාපොරොත්තුවෙන් අපත් ටොන් 500ක් නිෂ්පාදනය කළා. ඉන් ටොන් 400ක සංචිතයක් දැනුත් අප සතුව තිබෙනවා. මේ පොහොර ටික මහ පොළොවට වැටුණා නම් ඇත්තටම ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ මහා විප්ලවයකට මඟ හසර උදා වනවා. නමුත් දැන් සමස්ත කාබනික පොහොර නිෂ්පාදකයින්ට මුහුණ දීමට සිදුව තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයකට.

හැබැයි 2016 අප මෙම බයෝකාබන් පොහොර නිෂ්පාදනය පටන් ගන්නා විට, රජය මෙවැනි වැඩසටහනක් ගැන කතා කරලවත් නැහැ. 2020 වන විට CIC කෘෂි ව්‍යාපාර සමාගම අප සමඟ සාකච්ඡා කර ගිවිසුම් අත්සන් කළා. එයින් අපගේ විකුණුම් ජාලය පුළුල් වුණා. ඒ නිසා අපිට අලෙවිය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ පීඩනය නැති නිසා, සෑම විටම පොහොරවල ගුණාත්මකභාවය සහ තත්ත්වය උසස් කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කරන්නට මට හැකියාව තිබෙනවා.

නමුත් රජයේ පාර්ශ්වයෙන් මේ පිළිබඳ මීට වඩා හොඳ තීරණයකට එන්නට ඕනේ. මොකද, ගොවීන් පවා මේ වෙලාවේ සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයක. සමස්ත රක අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් විසඳන වෙලාවක් නිසා, මෙතෙක් කලක් කර ගෙන ආ දේ කඩාකප්පල් නොවන්නට කටයුතු කිරීමයි රජයේ වගකීම විය යුත්තේ.

ඇත්තටම මේ බයෝකාබන් නිෂ්පාදන කියන්නේ ඉහත කී ආකාරයට අවුරුදු ගණනාවක් පර්යේෂණ කර, වැඩි දියුණු කර, ඉන් ඔබ්බටත් පසු විපරම් කර, ලොකු මහන්සියකින් හඳුන්වා දුන් කාබනික නිෂ්පාදනයක්. ඒ කාලේ වෙනකොට ඇත්තටම අපිට මේක පිටරටවලට ගෙනියන්න අවස්ථාව තිබුණා. නමුත් අපි මේක අපේ රටට ගැළපෙන්න හැදුවා. අපිට ඕනේ වුණේ විනාශ වූ අපේ මහපොළොව යළි හදා ගන්න. ඒ සඳහා මේ නිෂ්පාදනය මහ පොළොවට වැටෙන්න ඕනේ.

අපේ රටේ කාබනික පොහොරක් එළියට දාන්න බැහැ පර්යේෂණ වාර්තා ගණනාවක් නැතිව. නමුත් රසායනික පොහොරවලට එහෙම තදබල නීති නැහැ. ඕනෑ දෙයක් ගෙනැත් මෙහෙ විකුණන්න පුළුවන්. සහනාධාරත් ලැබෙනවා. රජය වියදමත් කරනවා. නමුත් රටට ඔබින දේශීය දෙයක් කරන්න ගියොත් බාධක එමටයි.

අනික මේ බයෝකාබන් පොහොර භාවිත කරන විට පැහැදිලිව ම 50%කින් රසායනික පොහොර භාවිතය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ, 50% – 50% ප්‍රතිශතයට වගා කරන්න ගොවීන්ට හැකියාව තිබෙනවා. එයින් ඔවුන් ගේ ආර්ථිකයට විශාල ඉතිරියක් වනවා වගේම මහ පොළවට වස විස එකතූ වීම අඩු වනවා. ඒ වගේම, හොඳ ළවළුවක් පලතුරක් ආහාරයට ගැනීමේ අවස්ථාව ජනතාවට උදා වනවා.

රට ගැන හිතනවා නම්, මේ වෙලාවේ අවශ්‍ය වන්නේ ලංකාවේ මහ පොළොව සුවපත් කරන කාබනික දේ සඳහා අතහිත දෙන එකයි…”

التصنيفات